හැම තැනකින්ම ප්‍රතික්ෂේප වුන අවුරුදු හැත්තෑ හයේ “අමිතාබ්”ගේ කතාව

බොලිවුඩයේ නළු නිළි වරම් බොහෝ විට ලැබෙන්නේ පාරම්පරිකව.පිටස්තරයෙක්ට බොලිවුඩයට පිවිසෙන්නට ලැබෙන්නේ කලාතුරකින්. එසේ පිවිසුනත් කැපිලි කෙටිලි සහ දහසකුත් එකක් ප්‍රශ්න හමුවේ සාර්ථක ඉදිරි ගමණක් යන්නට ලැබෙන්නේ අතේ ඇගිලි ගණනටත් වඩා අඩු දක්ශයින් පිරිසකට පමණයි. මේ කථාවත් එවන් දුශ්කර ගමනක්  පැමිණ සිනමාවේ රජ කිරුළු පැළදි බොලිවුඩයේ සක්විති රජු පිළිබදවයි. 


අපේ කථා නායකයා යටත් විජිත ඉන්දියාවේ උපත ලබන්නේ 1942 ඔක්තොම්බර් 11 වැනිදා අමිතාබ් භච්චන් නමින්. ඒ හරීවන්ශ් රායි කිවිදාට සහ තේජි බච්චන් මව්ට දාවයි. මධ්‍යම පාන්තික පවුලක පළමුවැනියා නිසාම අමිත්ට පවුලේ බර සිය උරහිස මතට පැටවෙන්නේ කෙටි කලකින්මයි.


කෙතරම් බාධක මැද වුවත් හරීවන්ශ් සිය පුත්‍රයාට ලබා දෙන අධ්‍යාපනය නිසාම ඔහුට කලාව පිලිබදව වැඩි දුර හැදෑරීමට දිල්ලි විශ්ව විද්‍යාලයට පිවිසීමේ වරම් ලැබෙනවා.දිල්ලි විශ්ව විද්‍යාලයේ කලාව පිළිබද උපාධිය හදාරන අතරතුරම නාවුක තැරැව්කරුවෙකු ලෙස පෞද්ගලිකව කටයුතු කරන්නේ මුදල් අගහිග කම් නිසාමයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමවන අමිත් ඉන් අනතුරුව පූර්ණ කාලීනව නාවුක තැරැව්කරු තනතුරේ කටයුතු කරමින් සිය සොහොයුරා සහ දෙමාපියන් රැක බලා ගන්නේ කල්කටා වේ සිටයි.


රැකියාවත් සිහිනයත් අතර ලොවක තනිවන අමිතාබ් වරෙක ගුවන් විදුලි සේවයක නිවේද රැකියාවක් සදහා සම්මුඛ පරීක්ශනයකට පෙනී සිටියත් එයින් ඔහු ඉවත් කරන්නේ ඔහුගේ හඩ ගුවන් විදුලියට ගැඹුරු වැඩි බව පවසමින්. ඒ අතීතය ඔහු මෙසේ ආවර්ජනය කරනවා ” මගේ හඩ නිසාම මට ගුවන් විදුලි රැකියාව අහිමි වනවා මගේ හඩ නැතිවන තුරු මම රැයක් එලි වෙනකම් ඇඩුවා. අද ඒ ප්‍රතික්ශේප කළ හඩම මම කෝටි ගණනට අළෙවි කරනවා”.


ඒකාකාරී බව සහ මුදල් අගහිගකම් නිසාම රැකියාව පිළිබද කලකිරෙන අමිත් එවකට බොම්බායට (වර්තමාන මුම්බායි) පැමිනෙන්නේ තමන් උගත් කලාවෙන් ප්‍රයෝජනයක් ගැනීමේ අරමුනින්. නිදහසින් පසු ඉන්දියානු සිනමාව සාර්ථක ඉදිරි ගමනක් යද්දී ඊට එකතුවීමේ අනවරත ආශාවෙන් පසුවන අමිත් තම ආශාව නිසාම නිදි වරමින් සති ගණන් මාස ගණන් නිශ්පාදක වරුන් පසුපස යන්නෙ තම දෙමාපියන්ගේ දැඩි විරෝධය මධ්‍යයේ. තම රැකියාව නිමාකර ලබාගත් අවසන් ශතය පවා නිමවන තුරු ඔහු සිය සටන අත් හරින්නේ නෑ.අවසානයේ තමන් විසින් මුදල් ගෙවා චිත්‍රපටයක රගපෑමේ වරම ඔහු හිමි කරගන්නවා. 


1969 වසරේ තිරගතවන ඔහුගේ මුල්ම නිර්මාණය Saath Hindusthaani චිත්‍රපටය වාණිජමය වශයෙන් අසාර්ථක වීම ඔහුගේ සිනමා ගමනේ නැවතුම් තිත විය හැකිව තිබුනත් ඔහුගේ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනයෙන් රංගනට පිළිබදව ලබා තිබූ පන්නරය නිසාම අසාර්තක චිත්‍රපටයේ වුවද ඔහුගේ රංගනය දෙස බොහෝ අධ්‍යක්ශක වරුන්ගේ ඇස යොමුවනවා. ඒ අවසරයෙන් ඔහු වෙත අති සාර්ථක චිත්‍රපට රැල්ලක් ගලා එනවා. ඒ අනුව 70 දශකය අග භාගය වන විට බොලිවුඩයේ පළමු සුපිරි තරුව ලෙස සැලකෙන රාජේශ් ඛන්නා අබිභවා යන්නට මේ නවකයට හැකි වනවා.zanjeer, Lawaris,Silsila වැනි අති සාර්තක සහ ජනප්‍රිය නිර්මාණ වලට ඔහු හිමිකම් කියද්දී රාජේශ් ගේ කිරුල නිතැතින්ම අමිත් හිස මත පතිතවන්නේ සුවහසක් ප්‍රේක්ශක ප්‍රතිචාර සහ සම්මාන සමගින්.
Coolie චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර ඔහු මාරාන්තික අනතුරකට මුහුන දෙන්නේ මේ කාල සීමාවේදීයි.දින ගණනක් පුරා මාරයා සමග සටන් කර ඔහු නැවත උපද්දින්නෙ දහස් ගණන් රසික රසිකාවියන්ගේ ආශිර්වාදය නිසා බව ඔහු අදටත් ආදරයෙන් සිහිපත් කරනවා.


80 දශකය පුරා සිය අනසක පතුරවන අමිත් ඉන්දීය බොලිවිඩ් ඉතිහාසය අළුතින් ලියන්නේ එදා මෙදා තුර වැඩිම ආදායමක් ලැබූ නිර්මාණය ලෙස Sholey චිත්‍රපටය හිනිපෙත්තේ තබමින්. ජනප්‍රියත්වය එක් පසෙකින් එද්දි ආදර හබ නිසාම සිය පෞද්ගලික ජීවිතය අවුල් ජාලයක් වන්නේ මේ කාලය තුලයි. රේඛා අමිතාබ් ආදර අන්දරට බොලිවුඩය පුරා පැතිරෙද්දී හදිසියේම ඔහු 1973 දී ජයා බහදුරී සමගින් විවාහ වනවා. අදටත් රහසක්ව පවතින රේඛා – අමිතාභ් ආදර් අන්දරයේ නිමාවීම කෙසේවුවත් රේඛා අදටත් අවිවාහකව අමිතාබ් වෙනුවෙන් සින්දූර් ගල්වන බවනම් කාටත් නොරහසක්.


90 දශකයේ මුල් භාගයේ අසාර්තකත්වයත් සමග ඔහු තරමක් සිනමාවෙන් ඈත් වන්නේ වයසත් සමග බොලිවුඩයේ නළුවන්ට අත්වන සාම්ප්‍රදායික ඉරණමට මුහුණ දෙමින්. අසාර්තකත්වය ඔහු වසර ගණනක් පුරා උපයාගත් සියළු ධනය මෙන්ම රසික රසිකාවියන්ද බින්දුවටම සිද දමනවා.ඒ අතීතය ඔහු සිහිපත් කරන්නේ බිදුණු හඩින්. ” එක් වරක් මට මගේ දරුවන් බිරිද සමග සිය දිවි නසාගන්න පවා සිතුනා. නමුත් මම මගේ මරණය දෙවියන්ට භාර කළා. ඊට මට අයිතියක් නැති නිසා. නමුත් දෙවියන් මට මරණය වෙනුවට නව ජීවිතයක් ලබා දුන්නා.”


නමුත් 2000 වසරේ දී නැවතත් ඔහු සිය වයසට ගැලපෙන රංගනයකින් Mohobbatein චිත්‍රපටයෙන් සිය දෙවන ගමන අරඹනවා. ඉන් පසු මේ වන තෙක් නවතන්නට තරම් තරුවක් අදටත් බොලිවුඩයේ නැහැ. Black, Paa, Sarkaar,Aks වැනි නිර්මාණ හරහා ඔහු කළ රංගනයන් හා සමකල හැකි කෙනෙකුන් අදටත් බොලිවුඩයේ නැති තරම්.
කලක් දේශපාලකයෙකු ලෙසත්, ව්‍යාපාරිකයෙකු ලෙසත් කටයුතු කළ ඔහු මේ වන විට රූපවාහිනියේ සහ සිනමාවේ සාර්ථක ගමනක නියැලෙනවා. මධ්‍යම පාන්තික කවියෙකුගේ පුතෙකු ලොව ධනවත්ම නළුවෙකු කළ අපරිමිත ධෛර්‍යයේ හොදම උදාහරණය බොලිවුඩයේ සක්විති අමිතාබ් බච්චන් ලෙසින් අදටත් ජීවමානයි.
~චරිත් මොරගොඩ~  Charith Moragoda

Leave a Reply

Your email address will not be published. Required fields are marked *