උදේ හය වෙනතුරු මම කොටුවෙ ඇවිද්දා

සංගීත් ප්‍රභූ කියන නම තිබ්බේ කවුද?
මගේ නම සංගීත් ප්‍රභූ සංඛ පත්ම රත්නායක. ඒ නම තිබ්බේ මගේ අම්මා. මගේ අම්මා කලාවට හරි ආදරෙයි. අම්මා සංගීත ගුරුවරියක්. ඒ නිසා අම්මා සංගීත් කියන නම මට කියලා තියෙනවා. ඒ වගේම අම්මා ආසම නළුවා වුණේ ප්‍රභූ දේවා. ඉතින් ඒ නිසාම මට ප්‍රභූ කියන නමත් අම්මා තියලා තියෙනවා. අම්මා හරිම ආසාවෙන් ඉඳලා තියෙන්නේ මාව නළුවෙක් කරන්නෙ. මම පුංචි කාලේ උඩරට නර්තනය, හිපොප් හැම නර්තන ශෛලියක්ම ඉගෙනගත්තා.

සංගීත් අනුරාධපුරෙන් කොළඹට ආපු රංගන ශිල්පියෙක්?
ඔව්. මගේ ගම බදුල්ල ලුණුගල කියන ප්‍රදේශයයි. ඊටපස්සේ මම පහවසර පන්තියේ ඉගෙනගත්ත කාලෙදි අපි අනුරාධපුර පදිංචියට ගියා. ඉතින් ඊටපස්සේ මගේ ළමා කාලය සම්පූර්ණයෙන්ම ගෙවුණෙ අදටත් මගෙ දෙමව්පියෝ ඉන්නේ අනුරාධපුරෙයි. මගේ පවුලේ අම්මා, තාත්තා, අයියලා දෙන්නෙක් සහ එක මල්ලි කෙනෙක් ඉන්නවා. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. අම්මා සංගීත ගුරුවරියක්.

සංගීත්ගේ ළමා කාලය දඟ චරිතයක්ද?
පුංචි කාලේ මම දඟයි. ටිකක් කියන දේ අහනවත් හරිම අඩුයි. පුංචි කාලෙම මම බයිසිකල් පැද්දා. පිහිනීම් කළා. ගස් නැග්ගා. කාර් පවා පැද්දා. බොහෝ සංගීත භාණ්ඩ වාදනය කරන්න මට පුළුවන්.

පාසල් අධ්‍යාපනය ලැබුවේ කොහෙන්ද? 
මම ඉගෙනගත්තේ මිහින්තලේ මහ විද්‍යාලයෙයි නිවර්තන චේතිය මහ විද්‍යාලයෙනුයි. මට ශිෂ්‍ය නායක බැජ් එක ගහලා විදුල්හල්පති පැය දෙකෙන් ඒ බැජ් එක ගැලෙව්වා. ඒකට හේතුව වුණේ මට ගහපු බැජ් එක මම මගේ යාළුවගේ කමිසෙ ගහපු නිසයි. ඊටපස්සේ මට ශිෂ්‍ය නායක පට්ටම ලැබුණෙ නෑ.

අම්මගේ හීනය වුණේ සංගීත්ව නළුවෙක් කරන්නයි. සංගීත්ගේ හීනය වුණේ මොකද්ද?
මගෙත් ඒකම තමයි. මම පුංචි කාලේ ඉඳන් අම්මා මට හැමදෙයක්ම කියලා තිබුණා. මම නිළියක් වෙන්න ආස කළා පුතේ. ඒක මට කරගන්න බැරි වුණා. කියලා කිව්වා. ඒ නිසාම මම කවදහරි දවසක නළුවෙක් වෙනවා කියන හීනයක් පුංචි කාලේ ඉඳන්ම මගේ හිතේ ඇතිවුණා. ඉස්කෝලෙදි කලා කටයුතුවලට මම සම්බන්ධ වුණා. සමහරවෙලාවට බලෙන් ස්ටේජ් එකට නැගලා මොකක්හරි වැඩසටහනක් කළා. ඒ කාලේ ඉඳන්ම රඟපාන උණ මට හැදිලයි තිබුණේ. ඒ නිසාම මම කොහොමහරි ටීවී එකෙත් රඟපානවා කියලා හිතාගෙනයි හිටියේ.

අනුරාධපුර හිටපු සංගීත් නාට්‍යවලට කොළඹට ආවේ කොහොමද?
මගේ අම්මා නිතරම පත්තර කියෙව්වා. ඔය අතරේ රවීන්ද්‍ර සර්ගේ (රවීන්ද්‍ර විජේරත්න) දුරුතු සිනමා පාසැල කරන වැඩමුළු ගැන පල‍ෙවලා තිබුණා. අම්මා රවීන්ද්‍ර සර්ට කතා කරලා මාවත් ඒකට සම්බන්ධ කළා. 2015 ජනවාරි මාසෙ තමයි ඒ වැඩමුළුව පැවැත්වුණේ. මම රෑ එකොළහේ බස් එකෙන් අනුරාධපුරේ ඉඳන් කොළඹට ආවා. උදේ පාන්දර කොටුවෙන් බස් එකෙන් බැහැලා මම හය වෙනකල් කාලය ගෙවෙන්න කොටුව පුරා ඇවිද්දා. ඊටපස්සේ රවීන්ද්‍ර සර්ගේ වැඩමුළුවට ගිහින් තුනට ඉවරවෙලා ආයෙත් ඉක්මනට කොටුවට ඇවිත් තුනයි හතළිස් පහේ කෝච්චියෙන් අනුරාධපුරේ ගියා. ඒ කාලෙදි මම රවීන්ද්‍ර සර්ලාගෙන් බොහෝ දේ ඉගෙනගත්තා. හැබැයි ඒ මුල් කාලෙදි පුදුම කට්ටක් මම කෑවා. කොළඹ මම දන්න කියන නෑදෑයෙක්, යාළුවෙක්, හිතවතෙක් හිටියේ නැහැ.

රඟපෑම සංගීත්ගේ මුල්ම රස්සාව නෙවෙයි. එහෙම නේද?
නැහැ. නැහැ. මම රස්සාවල් කිහිපයක්ම කළා. මම කාලයක් එක එක ලීෆ්ලට්ස් පාරේ ඉඳගෙන බෙදුවා. සමහර කාලවලදී මම මූණු දාගෙන පාරේ නටලා තියෙනවා. ඒ හැමදේකින්ම මට ඕන වුණේ කොහොමහරි නළුවෙක් වෙන හීනය දකින්නයි. මම කවදාවත් මගේ අම්මා තාත්තට බරක් වුණේ නැහැ. මගේ වියදම මම කොහොමහරි හොයාගත්තා. ඒ හැමදේම කරන අතරේදී මම මගේ පළවෙනි නාට්‍ය කළා. ඒ කුටු කුටු මාමා ටෙලි නාට්‍යයයි.

මුල්ම රංගනය ගැන සංගීත්ගේ අම්මා මොකද කිව්වේ?
අම්මෝ… අම්මට ගොඩක් සතුටුයි. කුටු කුටු මාමා ටෙලි නාට්‍යයෙන් පස්සේ මම නාලන් මෙන්ඩිස් මහත්මයාගේ සල් සපුනා ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. ඒකේ සම්මුඛ පරීක්ෂණයේදී  මුලින්ම මම තේරැණේ නැහැ. මට තාම මතකයි මම එළියට එන්න හදද්දි මාව දැකපු ඉරේෂ් ලොකු බණ්ඩාර අයියා උඹ කොහෙද යන්නේ කියලා අහලා ආයෙත් මාව උඩට එක්කගෙන ගියා. මට තාම මතකයි මම එදත් ගියේ රබර් සෙරප්පු දෙකක් දාගෙන ටීෂර්ට් එකක් අැඳගෙනයි. ඊළඟ දවසේ මට ආයෙත් එන්න කිව්වා. ඒ අවස්ථාවේ මාව නිල්හාන්ගේ චරිතයට තෝරගත්තා. ඒ හරහා මාව බොහෝ දෙනා හඳුනාගත්තා. ඊටපස්සේ මට විවිධ චරිත ලැබුණා. තව දුරයි ජීවිතේ නාට්‍යයෙන් මට කොමඩි චරිතයක් කරන්න ලැබුණා. සිද්ධාර්ථ ගෞතම හි ආනන්ද හාමුදුරුවන්ගේ චරිතය කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ වගේ චරිතයක් කරන්න ලැබීම මගේ ලොකු භාග්‍යයක්. ඒකෙන් පස්සේ මට සක්කාරං ටෙලි නාට්‍යයේ රංගනයෙන් දායකවෙන්න අවස්ථාව ලැබුණා. මෑත කාලයේදී මට බොහෝ දෙනා අතරට සක්කාරං ටෙලිනාට්‍යයෙන් ද, රවීන්ද්‍ර සර්ගේ හුස්මක් තරමට ටෙලි නාට්‍යයෙන් ද යන්න අවස්ථාව ලැබුණා. ඇත්තටම මේ ආපු ගමන ගැන මට සතුටුයි. මම කොහොමහරි මගේ අම්මගේ හීනය හැබෑ කළා.

මේ වෙනකොට සංගීත් පෙම්වතෙක්ද?
නැහැ. දැන් පෙම්වතෙක් නෙවෙයි. කාලයක් පෙම්වතෙක් වෙලා හිටියා. හැබැයි දැන් එහෙම පෙම්වතෙක් නෙවෙයි.

ඊළඟ ඉලක්කය මොකද්ද?
මම අභිරූපණ කලාව ඉගෙනගන්න ආස කළා. අන්තර්ජාලය ඔස්සේ මම ඒ ඉගෙනීම් කටයුතු කළා. මම අභිරූපණ කලාව ඉගෙනගත්තේ සෑහෙන අමාරුවෙන්. රුපියල් හතලිස් නවයේ ඩේටා කාඩ් එකක් දාගෙන විනාඩි දහයක්වත් මට ඒ කාලේ ඉගෙනගන්න බැරිවුණා. හැබැයි මම ඒ උත්සාහය අතහැරියේ නැහැ. ඒ වගේම ලංකාවේ තිබුණු වැඩමුළුවලට මම සහභාගී වුණා. ලංකාවේ නළුවෝ කිව්වම වෙනම කොටසක් කියලයි මිනිස්සු හිතාගෙන ඉන්නේ. මම මේ පොළවේ පය ගහලා ඉන්න කෙනෙක්. එදා අනුරාධපුරේ හිටපු සංගීත්ම තමයි අදටත් ඉන්නේ. ඉදිරියටත් ඒකේ වෙනසක් වෙන්නෙ නැහැ. මම අද වෙද්දි හොඳටම අභිරූපණ කලාව ගැන දන්නවා. ඒ නිසා මම යම් ස්ථාවරයක් හදාගෙන ඒ මම අමාරුවෙන් ඉගෙනගත්තු දේ මේ රටේ නංගිලා මල්ලිලාට නොමිලේ කියාදෙන්න ආසයි. මාසයකට සැරයක් ඉස්කෝලයට ගිහින් නංගිලා මල්ලිලාට කියලා දෙන්න ආසයි.

► Text – Dishani  /   Pic -Sumudu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *